සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු 23 දා අරඹයි

සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු 23 දා අරඹයි

December 13, 2018   07:13 am

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය  පෙල විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන 23 වන දින සිට ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

අදියර දෙකක් යටතේ උත්තර පත්‍ර  ඇගයීම් කටයුතු සිදු කිරීමට නියමිත අතර පළමු අදියර ලබන 23 වන දින සිට ජනවාරි 01 වන දින දක්වා සිදු කිරිමට නියමිතයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සඳහන් කළේ දිවයින පුරා පිහිටි පාසල් 107කදී පළමු අදියරේ
ඇගයීම් කටයුතු සිදු කිරිමට නියමිත බවයි .

ඒ සදහා ගුරුවරුන් පුහුණු කිරිමේ සැසිවාර ලබන 18,19,20 සහ 21 යන දිනවලදී කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතයි.

සාමාන්‍ය පෙල විභාගයේ දෙවන අදියරේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු ජනවාරි  මස 08 වන දින සිට 17 වන දින දක්වා සිදු කිරීමට සැලසුම් කර තිබේ.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය පසුගිය දෙසැම්බර් 03 වන දින ආරම්භ වූ අතර ඊයේ දිනයෙන් අවසන් විය.

විභාග වංචා සම්බන්ධයෙන් පැමිණි 06ක් ලැබී ඇති අතර එය පසුගිය වසර වලට සාපේක්ෂව අඩුවීමක් බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සඳහන් කළේ.

ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් විධිමත් පරික්ෂණ ආරම්භ කර ඇති අතර විභාග කාර්යය මණ්ඩලයේ දක්ෂතා හේතුවෙන් මෙවර විභාග වංචා අඩුකර ගැනීමට හැකි වූ බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.