පොලීසියට එරෙහි විරෝධතාවයේදී කඳුළු ගෑස් ප්‍රහාරයක්-පොලීසියේ 4ක් රෝහලට

පොලීසියට එරෙහි විරෝධතාවයේදී කඳුළු ගෑස් ප්‍රහාරයක්-පොලීසියේ 4ක් රෝහලට

December 13, 2018   06:40 am

කටුවන පොලිසියට එරෙහිව ප්‍රදේශවාසින් දියත් කළ විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඊයේ(12) රාත්‍රී පොලීසිය ඉදිරිපිටට රැස්වූ ප්‍රදේශවාසීන් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වී නොසන්සුකාරි ලෙස හැසිරී ඇති බව වාර්තා වෙයි.

කටුවන, බෙංගමුකන්ද ප්‍රදේශයේ නීතිවිරෝධි මත්පැන් පෙරීමේ ස්ථානයක් වැටලීමට ඊයේ පස්වරුවේ කටුවන පොලිසියේ නිලධාරින් පිරිසක් පිටත්ව ගොස් තිබේ.

එහිදී ප්‍රදේශය් පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙකු මියයාමේ සිදුවිමක් වාර්තා වන අතර පොලිස් නිලධාරින් සිදු කළ පහරදිමකින් අදාල පුද්ගලයා මියගොස් ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

කෙසේවෙතත් පොලීසිය පවසන්නේ අදාල පුද්ගලයා මාර්ගයේ වැටී සිට ඇති අතර ඔහු පොලීසිය මැදිහත්වී රෝහල් ගත කර ඇති බවයි.

පහරදීමක් සිදු කළ බවට එල්ල වන චෝදනා පොලීසිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ප්‍රදේශවාසීන් පිරිසක් කටුවන පොලීසිය ඉදිරිපිටට රැස්වී නොසන්සුන්කාරි ලෙස හැසිරී ඇති අතර පොලීසියට ගල්වලින් පහරදී මාර්ගයේ ටයර් පුළුස්සා විරෝධතාවයේ ද නිරත වී තිබේ.

එහිදී සිදු කළ පහරදිම්වලින් පොලිස් නිළධාරින් සිව් දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා වලස්මුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් ඇතුළු අවට පොලිස් ස්ථානවලින් අතිරේක නිලධාරින් කැඳවා කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කොට විරෝධතාකරුවන් පලවා හැරිමට පොලීසිය කටයුතු කර තිබේ.