අඳුරුතම මොහොතක් ගැන පාඨලී කියයි

අඳුරුතම මොහොතක් ගැන පාඨලී කියයි

December 12, 2018   08:49 pm

මේ ගෙවමින් සිටින්නේ අප රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහසේ අඳුරුතම මොහොතක් බව එක්සත් ජාකිත පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පළකර සිටියේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිනි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“අද අපි මේ ගෙවමින් සිටින්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහසේ අඳුරුතම මොහොතක්.මේ රටේ බෙදුම්වාදී ත්‍රස්තවාදය පැවතුණා , ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකාරිත්වය පැවතුණා,කොළඹ බෝම්භ පිපිරුණා.

හමුදා කඳවුරු බිඳ වැටුණා,පාර්ලිමේන්තුවේ බෝම්බ පිපිරුණා.නමුත් මේ රටේ අමාත්‍ය මණ්ඩලයක්,අගමැති කෙනෙක් නැති තත්වයක් ඒ කිසිම අවස්තාවක තිබුණේ නෑ මිත්‍රවරුනි.

නමුත් අද පසුගිය 3වනදා ඉඳන් මහින්ද රාජපක්ෂව ඔහුගේ අමාත්‍ය මණ්ඩලය අභියාචනාධිකරණය විසින් වැඩ තහනම් කළාට පස්සේ අද මේ රටේ ආණ්ඩුවක් නෑ.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ මෙවැනි අරාජික තත්වයක්,මෙවැනි වියවුල් තත්වයක් ඇතිවෙලා නැති බව ප්‍රකාශ කරන්න ඕනේ.දැන් මේ ආණ්ඩුව පසුගිය 26 වෙනිදා හදනකොට මොකද්ද රාජපක්ෂවාදීන් අපිට කිවේ,රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මේ රට කොටින්ට පාවා දෙන්න යනවා, කොටින්ගෙන් රට බේරාගත් වීරයා මහින්ද රාජපක්ෂ, රට ෆෙඩරල් කරන්න යනවා ව්‍යවස්ථාවක් හදලා,විජාතික බලවේග වලට මේක තෝතැන්නක් කරලා දීලා තියෙනවා,ඒක නිසා කුමන්ත්‍රණයෙන් හරි බලය අතට ගන්න ඕනේ මේ රටේ දේශප්‍රේමීන් කියලා තමා කිවේ.ඕක තමයි මහින්ද මහත්තයාගේ ගෝල බාලයෝ ටික කිවේ.

‍ෙමං මහින්ද මහත්තයව හොඳට දන්නවා.අද ඔය මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දේශප්‍රේමය කතා කරන අය ඇඳන් යට ඉන්නකොට,ප්‍රභාකරන්ගේ කාලතුවක්කු කතා කරන වෙලාවේ,මහින්ද රාජපක්ෂ මහත්තයගෙත් කකුල් වෙව්ලන වෙලාවේ,අපි තමා එදා ඒ ත්‍රස්තවාදය ඇතුළු අඳුරුම යුගයේ මළ කඳන් මැදින් මේ රට ඒ ජයග්‍රාහී යුගයට අරගෙන යන්න මුල් උනේ මිත්‍රවරුනි.

මහින්ද මහත්තයා 2005 බලයට ආපු වෙලාවේ එතුමට උදව් කරන්න කිසිම කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියේ නෑ.මේ මුළු කොළඹ දිස්ත්‍රිකයටම හිටියේ භාරත ලක්ෂ්මන් විතරයි.ඒ භාරත ලක්ෂ්මන්ට ඒකට තෑග්ග දුන්නා මහින්ද මහත්තයා.වෙන කිසිම කෙනෙක් ස්ටේජ් එකක් ගහන්න,පෝස්ටරයක් ගහන්න එදා හිටියේ නෑ මේ කොළඹ දිස්ත්‍රිකයේ.“