විශ්වාසය පල කළාට රනිල්ගෙන් ස්තූතිය

විශ්වාසය පල කළාට රනිල්ගෙන් ස්තූතිය

December 12, 2018   03:36 pm

තමන්ට විශ්වාසය පල කළ සියළුම මන්ත්‍රීවරුන්ට සහ ඒ සඳහා සහය දුන් කථානායක කරු ජයසූරිය මහතාටද රනිල් වික්‍රමසිංහ මහතා අද (12) පාර්ලිමේන්තුවේදි ස්තුතිය පල කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව අද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුට ඉදිරිපත් කළේය.

එම යෝජනාව ස්ථිර කළේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවික්‍රම මහතා විසිනි.

මේ සම්බනධයෙන් කළ ඡන්ද විමසීමේදි වැඩි ඡන්ද 117කින් එම යෝජනාව සම්මත විය.

මේ සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පක්ෂව ඡන්දය දුන් අතර ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ලබා දීමෙන් වැලකී සිටියේය.


අනතුරුව කථානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 18 අඟහරුවා පස්වරු 1.00 තෙක් කල් තබනු ලැබීය.

ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන්ට පක්ෂව සහය දුන් සියලුම මන්ත්‍රීවරුන්ට සිය ස්තූතිය පල කළේය.

එහිදි ඒ මහතා පැවසුවේ දේශපාලන පක්ෂ මතයන් කුමක් වුවත් ව්‍යවස්ථාවට ගරු කරමින් සියළු දෙනා කටයුතු කළ යුතු බවයි.

ප්‍රජාතන්ත්‍රවාදි රටක් ලෙස ව්‍යවස්ථාව රටේ ප්‍රමුඛ නීතිය බවත් ඒ මහතා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදි ලෙස පාර්ලිමේන්තුවේ නායකත්වය දරමින් කටයුතු කිරිම සම්බන්ධයෙන් කථානායක කරූ ජයසූරිය මහතාටද රනිල් වික්‍රමසිංහ මහතා ස්තුතිය පල කළේය.