අගමැති සහ ඇමති මණ්ඩලයේ ධූරයන්ට එරෙහි පෙත්සම් විභාගයට දින තීන්දුයි

අගමැති සහ ඇමති මණ්ඩලයේ ධූරයන්ට එරෙහි පෙත්සම් විභාගයට දින තීන්දුයි

December 12, 2018   11:57 am

මහින්ද රාජපක්ෂ මහතාගේ සහ හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්ගේ පත්වීම් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් ජනවාරි මසයේ දින තුනකදි විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය.

අදාල පෙත්සම අද(12) අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබීය.

එම අවස්ථාවේදි අභියාචනාධිකරණය විසින් නියෝග කරනු ලැබුවේ 2019 ජනවාරි මස 16 ,17 සහ 18 යන  දිනවල අදාල පෙත්සම නැවත විභාගයට ගන්නා බවයි.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  122 දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළේය. 

පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු වගඋත්තරකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විරෝධතාවක් මතුකරමින් මෙම නඩුවට අදාළ නොතීසි සහ ලිපිගොනු ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුකූලව පෙත්සම්කාර පාර්ශවය විසින් තමන් වෙත නිසි පරිදි භාරදි නොමැති බව ප්‍රකාශ කළේය.

මෙය ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝනය කිරීමක් බැවින් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන මෙන්ද වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

එම අවස්ථාවේදී සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විවෘත අධිකරණයට ප්‍රකාශ කළේ එවැනි නියෝගයක් මෙම අවස්ථාවේදී නිකුත් කළ නොහැකි බවත් මෙම විරෝධතාව සුදුසු අවස්ථාවේදී මතුකරන ලෙසත්ය.

මෙහිදී වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියේ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනාගෙන් නොතීසි හා ලේඛන බාරදී තිබෙන්නේ 17 දෙනෙකුට පමණක් බවත්ය.

ඉතිරි වගඋත්තරකරුවන් තිස් දෙදෙනාට නඩුවේ ලේඛන ලැබී නොමැති බවත් චෝදනා කර සිටියේය.

ඒ අනුව මෙම නඩුවේ සියලුම වගඋත්තරකරුවන්ට නැවත නඩුවේ ලේඛන නිකුත් කරන ලෙස අධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ  නීතිඥවරයාට නියම කළේය.

අනතුරුව නඩුවට අදාළ විරෝධතා ජනවාරි මස 4 වනදා ඉදිරිපත් කරන මෙන් වගඋත්තරකරුවන්ට නියම කළ අධිකරණය ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේනම් ඒවා ජනවාරි මස 11 දා ඉදිරිපත් කරන ලෙස එම පාර්ශවයට නියම කළේය.

අනතුරුව පෙත්සම් විභාගය ජනවාරි මස 16, 17 සහ 18 යන දිනවල පවත්වන බව ද අධිකරණය නියෝග කළේය.

පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බවත් ඒ බව කථානායකවරයා විසින් ද තහවුරු කර ඇති බවත්ය.

මේ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19  වන සංශෝධනය ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව පෙත්සම්කරුවන් කියා සිටියේය.

මේ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දු කොට ඔහුගේ සහ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ පත්වීම බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන්ද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එහෙත් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කරුණු දක්වමින් ඉකුත්දා අධිකරණය හමුවේ කියා සිටියේ පෙත්සම්කරුවන් විසින් සම්මත කළ බව කියන විශ්වාසභංග යෝජනාව විධිමත් ආකාරයට සම්මත වී නොමැති බවයි.

මුලින්ම ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව කටහඬ පදනම් කරගෙන සම්මත වී ඇති බව කථානායකවරයා නිවේදනය කළ බව කී ජනාධිපති නීතිඥ මාරපන මහතා ස්ථාවර නියෝග 47(1)  යටතේ කථානායකවරයා එම යෝජනාව අති බහුතරයකින් සම්මත කර ඇති බව නිවේදනය කළේ යැයි ද කියා සිටියේය.

අදාල විශ්වාසභංග යෝජනාව විවාදයට ගනු ලැබුවේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීමෙන් පසුව බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ස්ථාවර නියෝග අත්හිටුවා තිබියදී  ස්ථාවර නියෝග 47(1) යටතේ කටහඬ පදනම් කරගෙන ඡන්ද විමසීම සිදු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර තිබුණි.

පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක මෙවැනි යෝජනාවක් සම්මත කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ මාරපන මහතා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීත්‍යානුකූල භාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයක් පැවැත්වෙන හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් ලැබෙන තුරු මෙම පෙත්සම් සලකා නොබලන මෙන්ද ඉල්ලා තිබුණි.

එමෙන්ම අදාළ විශ්වාසභංග යෝජනා විධිමත් ආකාරයට සම්මත වී නොමැති හෙයින් මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කරන මෙන්ද ජනාධිපති නීතිඥ මාරපන මහතා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙහි වගඋත්තරකරුවන් ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හතළිස් නව දෙනෙකු නම් කර ඇත.