සෙබළෙකුගේ නොසැලුන වීර්යයේ කූඨප්‍රාප්තිය

December 12, 2018   11:36 am

සංහිඳියාව හා සාමය පෙරදැරි කොටගෙන දෙවුන්දරතුඩුව සිට පේදුරුතුඩුව දක්වා ට්‍රයිසිකලයකින් ගමන්ගන්නා යුද හමුදා අබාධිත සෙබළ කෝප්‍රල් පි.කේ.ජි.කරුණාරත්න සෙබළා දෙවුන්දරතුඩුවෙන් ආරම්භ කළ ගමන යාපනය පේදුරුතුඩුවෙන් අවසන් කරනු ලැබීය.

අවසන් යුද සමයේ 2009 මැයි 07 වැනිදා මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී බෝම්බ ප්‍රහාරයකට හසුව දෙපා හා අතක ඇඟිලි අහිමිව ඇති කරුණාරත්න සෙබළා පසුගිය 03 වැනිදා දෙවුන්දරතුඩුව සිට පේදුරුතුඩුව දක්වා සිය ගමන ආරම්භ කරනු ලැබීය.

අභිමංසල පාන්ගොල්ල සුවසහන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන කරුණාරත්න සෙබළා ලෝක ආබාධිත දිනයට සමගාමීව සාමය හා සංහිදියාව පදනම් කර ගනිමින් යුද හමුදා නිළධාරීන්ගේ සහයෝගය යටතේ සිය ගමන ආරම්භ කළේය.

දෙවුන්දරතුඩුව සිට පේදුරුතුඩුව දක්වා කිලෝමීටර 576 ක දුර ප්‍රමාණයක් ගමන් කරමින් හෙතෙම ඊයේ(11) පේදුරුතුඩුව වෙත පැමිණ සිය ගමන නිමාකළහ.

කරුණාරත්න සෙබළා පේදුරුතුඩුව වෙත පැමිණි අවස්ථාවේදි යාපනය වඩමාරච්චි උතුර ප්‍රාදේශීය ලේකම් අල්වායිපිල්ලේ ශ්‍රී මහතා, යාපනය මරුදන්කේනි ප්‍රාදේශීය ලේකම් ඊ.කනගේෂ්වරන් මහතා, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා, ගජබා රෙජිමේන්තු කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු යුධ හමුදාවේ නිළධාරීන් හා සිවිල් නිළධාරීන් හෙතෙම පිළිගනු ලැබීය.

සෙබළා ගමන්කළ ගමන් මාර්ගය‍ දෙපස සියළු යුද හමුදා මූලස්ථාන හා අනුඛණ්ඩ විසින්ද මාර්ගය දෙපස සිට කරුණාරත්න සෙබළා වෙනුවෙන් සිය ස‍හයෝගය පළ කිරීමද පසුගිය දින කිහිපය පුරාවටම දැක ගැනීමට ලැබිණ.