මෝදිගේ භාරතීය ජනතා පක්ෂය දරුණු පසුබෑමකට
සයුරෙන් එතෙර

මෝදිගේ භාරතීය ජනතා පක්ෂය දරුණු පසුබෑමකට

December 12, 2018   11:01 am

ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත තුනක පැවති මැතිවරණ වලින් අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය දරුණු පසුබෑමකට ලක්ව තිබේ.

එම ප්‍රාන්ත තුනේම පාලන බලය මෙවර හිමිවුණේ රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් පක්ෂයටයි.

ඉන්දියාවේ රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ් සහ චත්තිස්ගාර් යන ප්‍රාන්ත මැතිවරණ වලින් ජය ගනිමින් එම ප්‍රාන්ත වල බලය හිමිකරගැනීමට ඉන්දීය කොංග්‍රස් පක්ෂයට හැකිවී තිබේ.

ඒ අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය දැඩි පසුබෑමකට ලක්කරමිනි.

රාජස්ථාන් සහ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත වල සියයට 50කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් කොංග්‍රස් පක්ෂයට හිමිව ඇති අතර චත්තිස්ගාර් ප්‍රාන්තයේදී එම ප්‍රතිශතය සියයට හැත්තෑ පහක් ලෙස සටහන් විය.

මෝදි බලයට පත්වීමෙන් පසුව අත්විඳි දරුණුම පසුබෑම මෙය බවත් සඳහන්ය.

එමෙන්ම ලබන වසරේදී එරට මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති පසුබිමක කොංග්‍රස් පක්ෂයේ මෙම නැගී ඒම කැපී පෙනෙයි.

ඉන්දීය ජනගහණයෙන් වැඩි පිරිසක් ජීවත් වෙන්නේ මෙම ප්‍රාන්ත වල වීමත් විශේෂත්වයකි.

මෝදිගේ රජය ග්‍රාමීය ප්‍රදේශ සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත එම පක්ෂයේ පසුබෑමට හේතුවී ඇතිබව දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහසයි.

මේ අතර කොංග්‍රස් පක්ෂයේ ආධාරකරුවන් එම පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට රැස්වී ජයග්‍රහණය සමරනු දක්නට ලැබුණි.