කුඩු ගෙනාපු අය අත්අඩංගුවේ-මගේ කිසිම සම්බන්ධයක් නෑ

කුඩු ගෙනාපු අය අත්අඩංගුවේ-මගේ කිසිම සම්බන්ධයක් නෑ

December 12, 2018   08:53 am

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මඟින් පසුගිය දිනක සොයාගැනුණු හෙරොයින් කිලෝග්‍රෑම් 231 ක තොගය ගෙනා බවට ෆේස්බුක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ තමාට චෝදනා එල්ල වී ඇතැයි මොහොමඩ් හුසේන් සාලි නජ්මි නැමති පුද්ගලයෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඊයේ(11) දිනයේ දී ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, අද දෙරණට අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.
  
“මම කුඩු ගෙනාවා කියලා මගේ ෆොටෝ එකක් ෆේස්බුක් දාලා තියෙනවා. 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, බේරුවල හිටපු නගරාධිපති මිල්ෆර් ගෆූර් යන අය එක්ක ඉන්න ෆොටෝ එකක් දාලා අපි තුන්දෙනා තමයි කුඩු ගෙනාවේ කියලා. 

ෆේස්බුක් දාලා තියෙනවා. දැන් කුඩු ගෙනාපු අය අත්අඩංගුවට අරන් ඉන්නේ. මගේ කිසිදු සම්බන්ධයක් නැහැ ඒකට. හිටපු ආරක්ෂක ලේකම්වරයාටත් හිටපු නගරාධිපතිවරයාටත් විරුද්ධව මාව යොදාගෙන මේ දේ කරලා තියෙනවා. “

කෙසේ වෙතත් ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ගාමිණී ඒකානායක මහතා කියා සිටියේ, තම සේවාදායකයාගේ පින්තූරයක් භාවිතා කරමින් සමාජ ඡාලාවලින් මෙවැනි මඩ ගැසීමක් සිදු කර ඇති බවත් ඒ වෙනුවෙන් ඉදිරියේ දී අපරාධ නඩුවක් හා සිවිල් නඩුවක් පැනවීමට බලාපොරොත්තු වන බවයි.

තම සේවාදායකයා අත්අඩංගුවේ සිටින පුද්ගලයෙකු නොව ඔහු නිදහසේ ජීවත් වු පුද්ගලයෙකු වන බවත්, මුහුණු පොත තුළින් සිදු කර ඇති මෙම ක්‍රියාව අපරාධයක් වන බවත්ය.