ඊනියා බෝඩ්ලෑලි කරපින්නාගේ නීතිය අතට ගන්න හදනවා

ඊනියා බෝඩ්ලෑලි කරපින්නාගේ නීතිය අතට ගන්න හදනවා

December 11, 2018   09:32 pm

පුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප්‍රිය මහතා විසින්  ජනපති ඝාතනය ඇතුළු මිනිස් ඝාතන සිදු කිරීමට තැත් කරන බවට පැමිණිල්ලක් පිවිතුරු හෙළ උරුමය   ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා විසින් පසු ගිය නමවන දින පොලිස් මූලස්ථානය වෙත ගොනු කරනු  ලැබුවේය.

 එම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් අද දින (11) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී සිදුවිය.

එම අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා පැවසුවේ පුරවැසි බලය නමින් හදාගත් නඩයක් විසින් පසුගිය දිනක පැවැත්වූ මාධ්‍ය හමුවකදී සමන් රත්නප්‍රිය කියන පුද්ගලයා කරපු බරපතළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස්පතිතුමා හමුවේ පැමිණිල්ලක් ගොනු කළ බවයි.

ඒ අනුව අද දින එම පැමිණිල්ලේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලීසියෙන් කරන ලද දැනුම් දීමට අනුව පිවිතුරු හෙළ උරුමේ පැය තුනකට ආසන්න කාලයක් පොලිසිය මේ සම්බන්ධයෙන් අදාල තොරතුරු ලබා ගැනීම් සිදු කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් නීතීඥ තුෂාර දිසානායක මහතා,

("යහපාලනය සහ සාධාරණ සමාජයක් වැනි ඊනියා බෝඩ්ලෑලි කරපින්නා ගෙන එයින්ම බඩගෝස්තරය සවිකරගත් සමන් රත්නප්‍රිය ඇතුළු මේ කණ්ඩායම අද නීතිය අතට අරගෙන කටයුතු කරන්න උත්සාහ දරමින් ඉන්නවා. 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ට ලිබියාවේ ගඩාෆිට අත් වූ ඉරණම මතක් කරමින් ලේ හලා හෝ ආණ්ඩුව යළි ලබා ගන්නා බවටත් සිදුකරනු ලබන ප්‍රකාශ විශේෂයෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ 114 සහ 115 යන රාජ්‍ය විරෝධී වරදටත් එමෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ වූ  වරදකට මෙන්ම සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනතේ තුන් වන වගන්තිය යටතටත් වැටෙන සාපරාධි ක්‍රියාවක් ලෙසයි අප දකින්නේ.")