අලියන්ටත් දැන් SMS එකක්

අලියන්ටත් දැන් SMS එකක්

December 11, 2018   07:23 am

මෙරටට ආනයනය කරන ලද ඉන්දීය බලවේග දුම්රිය  කඩිනමින් ධාවන කටයුතු සඳහා යෙදවිමට බලාපොරොත්තු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී දිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ බලවේග දුම්රිය පරීක්ෂණ ධාවනය සඳහා ඊයේ(10) දිනයේ දී ඉන්දියානු නිලධාරීන් පිරිසක් දිවයිනට පැමිණි බවයි.

පරීක්ෂණ ධාවනයෙන් අනතුරුව කඩිනමින් අදාළ බලවේග දුම්රිය ධාවන කටයුතු සඳහා යෙදවීමට සැලසුම් කර තිබේ.

ඊට අමතරව තවත් බලවේග දුම්රිය සහ දුම්රිය එන්ජින් ලබන වසර තුළ මෙරටට ආනයනය කිරීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරී දිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ලබන වසර තුළ නව දුම්රිය මාර්ග රැසක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ද දිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
 
මේ අතර දුම්රියේ වන අලි ගැටීම වළක්වා ගැනීම සඳහා සිදුකරන වැඩපිළිවෙලෙහි පළමු අදියර ලෙස එස්.එම්.එස්.පණිවිඩයක් මඟින් දුම්රිය සේවකයින් දැනුවත් කිරීමේ වැඩපිළිවෙල ඊයේ දිනයේ සිට ආරම්භ කර තිබේ.

වනජීවි දෙපාර්තමේන්තුවෙන්, සාමාන්‍ය ජනතාවගෙන්, දුම්රිය දෙපාර්තමේන්තු සේවකයින්ගෙන් ලබාගන්නා තොරතුරු එස්.එම්.එස්.පණිවිඩයක් මඟින් බෙදාහැරිම මෙහිදි සිදුවෙයි.

දුම්රිය මාර්ග අවට වනඅලි ගැවසෙනවා නම් අදාළ එස්.එම්.එස්.පණිවිඩය මඟින් දැනුවත් කිරීම මෙහිදි සිදුවන අතර මෙය පැය 24 පුරා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.