ජනපති නියෝගයට එරෙහි පෙත්සම් විභාගය හතරවෙනි දිනටත් කල් යයි

ජනපති නියෝගයට එරෙහි පෙත්සම් විභාගය හතරවෙනි දිනටත් කල් යයි

December 6, 2018   05:13 pm

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට(07) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියම කළේය.

එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින්  පනවා තිබෙන තහනම් නියෝගය ලබන 8 වනදා දක්වා දීර්ඝ කිරීමට ද අධිකරණය නියම කළේය. 

මෙම පෙත්සම විභාග කරන සත් පුද්ගල විනිසුරු මඩුල්ලේ  අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

එම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු කටයුතු කරති. 

පෙරවරුවේ අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කිරීමක් ආරම්භ කළේය.

ඒ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී .එල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා තවදුරටත් කරුණු ඉදිරිපත් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62( 2) වගන්තිය යටතේ පාර්ලිමේන්තු නිල කාලය සම්පූර්ණ වීමට ප්‍රථම ජනාධිපතිවරයාට එය විසුරුවා හැරීමට තිබෙන බලතල පිළිබඳව තවදුරටත් කරුණු ඉදිරිපත් කළේය.

1978 වසරෙන් පසුව පත්වූ එක් පාර්ලිමේන්තුවක් හැර අනෙකුත් පාර්ලිමේන්තු සියල්ල  එහි නිල කාලය අවසන් වීමට ප්‍රථම විසුරුවා හැරීමට ජනාධිපතිවරුන්ට බලය පැවරුණේ මෙම 62 (2 ) වගන්තිය යටතේ බව සඳහන් කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඒ බව තහවුරු කෙරෙන ප්‍රතිපාදන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තිය තුළ  අන්තර්ගතව තිබෙන බවද අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

අතරමැදි පෙත්සම්කරුවකු  වන අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ජනාධිපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභා කළ යුතු බවයි. 

පෙත්සම්වලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තහවුරු කිරීමට  පෙත්සම්කරුවන් අසමත් වී ඇති බවත් එම පෙත්සම් විභාග කිරීම සඳහා අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රමුඛ කාර්යභාරය බවත් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහනය ප්‍රදානය කරනු ලැබුවද ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන ප්‍රධාන මූලික අයිතිවාසිකමක් වන සර්වජන ඡන්ද අයිතිය උල්ලංගනය වන බවත් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා  කියා සිටියේය.

මනෝහරද සිල්වා ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේ අග්‍රමාත්‍යවරයාට පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැති යැයි හැඟී යන අවස්ථාවක එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය හිමිවී තිබෙන බවයි. 

අතරමැදි පෙත්සම්කරුවකු  වන  ජගත් වැල්ලවත්ත යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)(c)) වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අමතර බලයක් හිමි වී තිබෙන බව පෙන්වා දුන්නේය.

ඒ අනුව ජනාධිපති නීතිඥ ශබ්රි මහතා පෙන්වා දුන්නේ මෙම විසුරුවා හැරීම අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවයි.

අග්‍රාමාත්‍යවරයා විධායක බලතල තමන් සතුව ඇතැයි සිතා කටයුතු කිරීම නිසාත් ජනාධිපතිවරයා විධායක බලය අතහැරදමා කටයුතු කිරීම නිසාත් ඇති වූ අර්බුදය අද අධිකරණය දක්වා පැමිණ ඇති බවද ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ  පෙන්වා දුන්නේය.

මෙය ජනතා පරමාධිපත්‍යය පිළිබඳ ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා එය ජනතාව හමුවට ගොස් විසඳා ගැනීම වඩාත් යෝග්‍ය බව කියා සිටියේය.

අතරමැදි පෙස්සම්කරුවකු වන  ආචාර්ය චන්න ජයසුමන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33( 2)c වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබෙන බලය විවාදයකින් තොරව පිළිගත යුතු බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 33(2)c සහ 62(2) ජනාධිපතිවරයාට බලය පවරා දී ඇති බවත් එම වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනත් කිසිදු වගන්තියකින් සීමාකිරීම්වලට ලක් කර නොමැති බවත් ජනාධිපති නීතිඥ මාරපන මහතා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් පෙත්සම්කරුවන්ගේ  මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදු වී නොමැති බවත් මේ හේතුවෙන් අදාළ පෙත්සම් විභාගයට  නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් ගාමිණී මාරපන ජනාධිපති නීතිඥවරයා  අධිකරණයෙන්   ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ,ජනතා විමුක්ති පෙරමුණ ,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ,ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය ,විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල්  ඇතුළු පාර්ශව 13ක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.