ජනපති නියෝගයට එරෙහි පෙත්සම් විභාගය තෙවන දිනටත් ඇරඹෙයි

ජනපති නියෝගයට එරෙහි පෙත්සම් විභාගය තෙවන දිනටත් ඇරඹෙයි

December 6, 2018   10:18 am

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරිම නීති විරෝධි යැයි ප්‍රකාශක කරන මෙන් ඉල්ලා ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය තෙවන දිනටත් අද(06) ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවැත්වෙයි.

අගවිනිසුරු නලීන් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගය පෙරවරු 10.00ට පමණ ආරම්භ වූ බව අද දෙරණ  අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ඇතුළු පාර්ශව 13ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සම් විභාගය  පසුගිය 04 වනදා ආරම්භ වූ අතර පළමු දිනයේ පෙත්සම්කාර පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දැක්වීම සිදු කළේය.

ඊයේ දිනයේ අදාළ පෙත්සම් සම්බන්ධයෙන් නීතිපතිවරයා කරුණු දැක්වීම සිදු කළ අතර අද පෙරවරුවේ පෙත්සම් විභාගය ආරම්භ කරමින් අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කිරිම ආරම්භ කර තිබේ.

ඒ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී .එල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු ඉදිරිපත් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 (2) වගන්තිය යටතේ පාර්ලිමේන්තු නිල කාලය සම්පූර්ණ වීමට ප්‍රථම ජනාධිපතිවරයාට එය විසුරුවා හැරීමට ඇති බලතල පිළිබඳව කරුණු ඉදිරිපත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

1978 වසරෙන් පසුව පත්වූ එක් පාර්ලිමේන්තුවක් හැර අනෙකුත් පාර්ලිමේන්තු සියල්ල එහි නිල කාලය අවසන් වීමට ප්‍රථම විසුරුවා හැරීමට ජනාධිපතිවරුන්ට බලය පැවරුණේ මෙම 62 (2 ) වගන්තිය යටතේ බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ බව තහවුරු කෙරෙන ප්‍රතිපාදන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තිය තුළ  අන්තර්ගත බවද පෙන්වා දී තිබේ.

අතරමැදි පෙත්සම්කරුවකු  වන උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ජනාධිපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභ කරන ලෙසයි.

පෙත්සම්වලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තහවුරු කිරීමට  පෙත්සම්කරුවන් අසමත් වී ඇති අතර එම පෙත්සම් විභාග කිරීම සඳහා අධිකරණයට අධිකරණමය බලයක් නොමැති බව ද එම නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.

පෙත්සම් වැඩිදුර විභාගය තවදුරටත් සිදු කෙරෙන බව  අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

මෙම පෙත්සම් පසුගිය මස 13 වනදා සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් හෙට දිනය දක්වා බලපැවැත්වෙන පරිදි අතුරුතහනම් නියෝගයක් නිකුත් කළේය.