රනිල්ගේ වත්කම් ප්‍රකාශනය ප්‍රසිද්ධ කරන්න

රනිල්ගේ වත්කම් ප්‍රකාශනය ප්‍රසිද්ධ කරන්න

December 5, 2018   10:00 pm

2015 හා 2016 යන වර්ෂයන් හි අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් වත්කම් හා බැරකම් ප්‍රකාශනය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයට ලබා දෙන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසම ජනාධිපති ලේකම් කාර්යාලයට නියෝග කළේය. 

කොමිසම විසින් මෙම තීන්දුව ලබාදුන්නේ 2017 වර්ෂයේ පෙබරවාරි මස 3 දින තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වීමත් සමග ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඉදිරිපත් කළ තොරතුරු ඇයඳුමක් ප්‍රකාරවයි. 

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම වත්කම් ප්‍රකාශනය ලබා ගැනීම තුළින් එය ප්‍රසිද්ධියට පත් කිරීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකාආයතනයට හැකියාව ඇත. 

මෙම ප්‍රකාශනය පෞද්ගලික තොරතුරු වන බවට කළ තර්කය ප්‍රතික්ෂේප කරමින්, තුන්වන පාර්ශවයන්ට අදාල තොරතුරු ඉවත් කර එම වත්කම් ප්‍රකාශනය නිකුත් කළ හැකි බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසම තම තීන්දුවේ සඳහන් කළේය. 

එමෙන්ම පොදු ධනය තමන්ගේ පෞද්ගලික භුක්තිය සඳහා එක්රැස් කිරීමට තැත් කරන පුද්ගලයින්ව එසේ කිරීමෙන් වැළැක්වීමට හා දූෂණය වැළැක්වීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත බලවත් මෙවලමක් වන බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසම පෙන්වා දුන්නේය. 

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය මෙම තීන්දුව සතුටින් පිළිගන්නා අතර, නීති විරෝධීව ධනය රැස් කිරීමේ චෝදනා පිළිබඳව පරීක්ෂා කිරීමට හා දූෂණය මැඩලීමේ මෙවලමක් ලෙස දේශපාලඥයින්ගේ වත්කම් ප්‍රකාශන භාවිතා කළ හැකි බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ ස්ථාවරයයි.  

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් මුල් අවස්ථාවේදී ඉදිරිපත් කළ තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍රය තුළින් 2015 හා 2016 වර්ෂයන් සඳහා අතිගරු ජනාධිපති මෛතිරිපාල සිරිසේන මහතාගේ වත්කම් ප්‍රකාශනයද ඉල්ලා සිටි අතර, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසම පෙන්වා දුන්නේ වත්කම් හා බැරකම් ප්‍රකාශන පිළිබඳ පනත යටතේ, ජනාධිපති ධූරය සඳහන් කර නොමැති බවයි. 

එසේවුවුද, විනිවිදභාවය හා වගවීම තහවුරු කිරීම සඳහා රාජ්‍ය නායකයින් සිය කැමැත්තෙන්ම වත්කම් ප්‍රකාශන ප්‍රසිද්ධියට පත්කිරීමේ ප්‍රවනතාවයක් පවතින බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසම පෙන්වා දුන්නේය. 

ජනාධිපතිතුමාගේ වත්කම් ප්‍රකාශනයද ප්‍රසිද්ධියට පත්කිරීම තුලින් තොරතුරු දැනගැනීමේ පනත තුළින් බලාපොරොත්තු වූ  යහපාලනයේ හා වගවීමේ සංස්කෘතිය පෝෂණය කළ හැකි බැවින් මෙම නීතිමය පුරප්පාඩුව විසඳන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසම නිර්දේශ කළේය. 

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමේ තීන්දුව අභියාචනාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමේ හැකියාව ජනාධිපති ලේකම් කාර්යාලයට පවතින නමුත්, එවැනි පියවරක් ගැනීම තුලින් තම ඡන්දයෙන් පත් කළ නියෝජිතයින්ගේ වත්කම් ප්‍රකාශන ලබා ගැනීමට ජනතාව සතු අයිතිය, වගවීම හා විනිවිදභාවය යන සංකල්පයන් ප්‍රවර්ධනය කිරීමට  ජනාධිපතිතුමා විසින් ලබා  දී ඇති ප්‍රතිඥා, උල්ලංඝනය වේ. 

මේ පිළිබඳව අදහස් දැක්වූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා මෙසේ පැවසුවේය -

 “මෙම ඓතිහාසික තීන්දුව තොරතුරු දැනගැනීමේ අයිතිය හා දේශපාලඥයින්ගේ වත්කම් ප්‍රකාශන ජනතා අතට පත් කිරීම සඳහා ගෙන යන අරගලය විසින් අත්කර ගත් දැවැන්ත ජයග්‍රහණයක්. 

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමේ තීන්දුවට යටත්ව ජනාධිපති කාර්යාලය එම වත්කම් ප්‍රකාශනය ලබා දෙනු ඇතැයි අප අපේක්ෂා කරන අතර, එසේ ලැබුණු විගස එය ජනතා අතට පත් කිරීම සඳහා අප ක්‍රියා කරන බව සඳහන් කළ යුතුය".