ජනපතිගේ තවත් ක්‍රියාන්විතයක් සුදානමින්

December 5, 2018   04:04 pm

මොරගහකන්ද ජලාශය ජනතා අයිතියට පත් කිරීමෙන් පසු දෙවන ක්‍රියාන්විතය වන ප්‍රතිසංස්කරණය කරන ලද ඉරණමඩු ජලාශය වාන් දැමීමට ආසන්න වී ඇති බව වාර්තා වෙයි.
 
මේ පිළිබඳව සොයා බැලීමට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා අද(05) වන දින ඉරණමඩු ජලාශය වෙත නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

මෙහිදී අදහස් දක්වමින් උතුරු පළාත් ආණ්ඩුකාරතුමා, අක්කර 21000ක භූමි ප්‍රමාණයක ඉදි කර ඇති මෙම ඉරණමඩු ජලාශය යුද සමයේ අඩාල වූ වාරි කර්මාන්තය සහ ජන ජිවිත යළි ගොඩනැගීමේ අරමුණ මූලික කර ගනිමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 2000කට වැඩි වියදමක් දරා ඇති බවත්,මෙයට පෙර අඩි 34 කින් යුතු වුවත් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අඩි 36කින් යුත් මෙම වාන මේ වනවිට අඩි 35ක් ඉක්මවා ජලය පිරි ඇති බවත් සඳහන් කළේය. 

එසේම ප්‍රදේශයේ ජිවත් වන පවුල් 9180කට මෙම ජලාශයෙන් සෙත සැලසෙන බවත්,  මහ කන්නයට පසුව යල කන්නයේදීද ගොවිතැන් කටයුතු කර ගැනීමට මෙම ජලාශය මහත් පිටිවහලක් වන බව ප්‍රකාශ කළ උතුරු පළාත් ආණ්ඩුකාරතුමා මේ සඳහා සහය දුන් නිලධාරියාගේ සිට කම්කරුවා දක්වා සියලුම දෙනාටත්, විදේශීය ණය ආධාර ලබා දුන් ආයතන වලටත් මධ්‍යම රජයට සහ පළාත් සභාවටත් විශේෂ ස්තුතියක් පිරිනමා තිබේ.

ප්‍රදේශයේ ජනතාවට තමන්ගේ කෙත් වතු සාරවත් කර ගැනීමට මෙම ජලය ලබා ගත හැකි සේම පානීය ජලය සඳහා ද සුදුසු වන බව සඳහන් කළ ආණ්ඩුකාරතුමා මෙම ජලාශයේ අතිරික්ත ජලය ඉදිරි කාලය තුළදී යාපනය ප්‍රදේශයට රැගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද මෙහිදී පැවසීය.

මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරවර ලේකම්, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්, පළාත් ඉංජිනේරු සහ ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවරුන්, රජයේ නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන්ද සහභාගි විය.