මාස 11ක් තුළ ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින් 222ක් මරුට

මාස 11ක් තුළ ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින් 222ක් මරුට

December 5, 2018   01:48 pm

මේ වසරේ ගත වූ කාලය තුළ විදෙස් ගතව සිටි ශ්‍රී ලාංකික  ශ්‍රමිකයින් දෙසිය විසි දෙදෙනෙකු විවිධ හේතූන් මත මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය. 

එම කාර්යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ කාන්තාවන් 52 දෙනෙකු ඒ අතර වන බවයි. 

මියගිය පිරිස අතරින් පුද්ගලයින් 145 දෙනෙකු ස්වභාවික හේතූන් මත මියගොස් ඇති බව සඳහන්ය. 

එමෙන්ම සියදිවි හානිකරගැනීම් හේතුවෙන් කාන්තාවන් 06 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසීය. 

මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබේ.

ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින් වැඩි පිරිසක් මියගොස් ඇත්තේ සෞදි, කුවේට් සහ කටාර් යන රටවල සේවයේ නිරතව සිටියදී වන අතර මියගිය පුද්ගලයින්ගේ සිරුරු මෙරටට ගෙන්වීම සඳහා මේ වසර තුළ රුපියල් මිලියන 07ක පමණ මුදලක් වැය වී ඇති බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.