නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

December 5, 2018   01:27 pm

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු දෙසැම්බර් මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරිමට සැලසුම් කල බවට එල්ල වු චෝදනාවකට අදාලව නාලක ද සිල්වා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණි.

ඒ අනුව සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කල අතර එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සහ නාලක ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණයට සිය ලිඛිත දේශන ඉදිරිපත් කර තිබේ.

මෙහිදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරියෙකු සමඟ දීර්ඝ කාලයක සිට සමීප සබඳතා පැවැත්වූ මාකඳුරේ මදුෂ්ගේ සමීපතමයෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේය.

අදාල පුද්ගලයා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත් විමර්ශනවලට අදාලව ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපේක්ෂා කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට දැනුම් දී තිබේ.

මේ අතර සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ජාතිකයා ද දෙසැම්බර් 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කල බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

මෙහිදී මෙම ඉන්දීය ජාතිකයා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසමෙන් කැඳවූ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර තිබේ.