වතු කම්කරුවෝ අදත් මහ පාරේ

December 5, 2018   12:58 pm

වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් වතුකරය පුරා ආරම්භ කර ඇති වැඩ වර්ජනය දෙවන දිනටත් වතුකරය පුරා ක්‍රියාත්මක වෙමින් පවතින බව අද දෙරණ වාර්තාකරු පවසයි.

කම්කරු ජාතික පෙරමුණ, කම්කරු ජාතික සංගමය, කදුරට ජනතා පෙරමුණ ඇතුළු වතුකරය නියෝජනය කරන තවත් වෘත්තිය සමිති ගණනාක සමාජිකයන් අද(05) දින සුපුරුදු පරිදි තේ වතුවල දෛනික රාජකාරි කටයුතු සදහා වාර්තා කර ඇති බව වතු කම්කරුවන් කියා සිටියි.

අද දින සුපුරුදු පරිදි තේ වතුවල සේවයට වාර්තා කර ඇති වතු කම්කරුවන් කියා සිටියේ තමන්ගේ මුලික වැටුප රු 1000 දක්වා වැඩි විය යුතු බවත්, වැඩ වර්ජනය කරමින් වතු සමාගම්වලට බලපැම් කිරිමෙන් ලබන මස තම වැටුප නොලැබිමෙන් තමන් ආර්ථික ගැටළු රැසකට මතු වන බවයි.

තම වෘත්තිය සමිති නායකයින් විසින් සුපුරුදු පරිදි සේවයට වාර්තා කරන ලෙස කල ඉල්ලිමක් මත අද දින තමන් සේවයට වාර්තා කල බවයි වතු කම්කරුවන් කියා සිටියේය.

තේ වතුවල දෛනික කටයුතු සදහා අද දින වාර්තා කල වතු කම්කරුවන් තේ වත්ත සුද්ද පවිත්‍ර කිරිමේ කටයුතුවලට යෙදවු බව වතු අධිකාරිවරුන් කියා සිටියේය.

මේ අතර හැටන් ෂැනන් වතු යායේ සේවයට වාර්තාකල සිටි වතු කම්කරුවන් පිරිසකට ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් විසින් බලපැම් සිදු කිරිම හේතුවෙන් සේවයට වාර්තාකල වතු කම්කරුවන් තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටට පැමිණ වතු අධිකාරිවරයා හමුවේ කියා සිටියේ සුපුරුදු පරිදි  වතුවල තමන්ට වැඩ කිරිමට අවස්තාව සලසා දෙන ලෙසයි.

වතු කම්කරුවන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් තේ සමාගම්වලට තවදුරටත් පාඩු සිදු වෙමින් පවතින බව වතු අධිකාරිවරුන් කියා සිටියි.

වතු කම්කරුවෙකුට දැනට දිනකට ගෙවන රු 530 මුලික වැටුප රු 600 දක්වා වැඩි කර දිනකට සියළුම සමඟ රු 1000 ආසන්න වැටුපක් ලබාදිය හැකි බවට  වතු සමාගම් විසින් වතු ඒකාබද්ධ වෘත්තිය සමිති වෙත කර ඇති යෝජනාව වතු ඒකාබද්ධ වෘත්තිය සමිති විසින් ප්‍රතික්ෂේප කර ඇත.