අවසන් මොහොතේ බේරුණ අවධානම

December 5, 2018   10:23 am

දුම්රිය මාර්ගයට දුරකථන රැහැන් කිහිපයක් කඩාවැටීම හේතුවෙන් සිදුවීමට ගිය මහා විනාශයක් මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාග රාජකාරි සඳහා පැමිණ සිටි අධ්‍යාපන නිලධාරීන් පිරිසකගේ සහ පොලිස් නිලධාරින් කිහිපදෙනෙකුගේ උත්සාහය මත එය වළක්වා ගැනීමට හැකි වී තිබේ.

දිඹුලාගල අධ්‍යාපන කාර්යාලයට ඇඳ තිබූ දුරකථන රැහැන් සහ කණු හතරක් අද(05) වැනිදා අලුයම බර වාහනයක් ගැටි බිමට පතිත වී තිබූ අතර ඒ වන විට කොළඹ සිට මඩකලපුව බලා ගමන් කරන දුම්රිය ද පැමිණෙනමින් තිබී ඇත.

දුම්රිය ගේට්ටු මුරකරු  දුරකථන රැහැන් දුම්රිය මාර්ගයට වැටී තිබෙන අයුරු දැක ඒ පිළිබඳව අසල මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ විභාග රාජකාරියට පැමිණ සිටි අධ්‍යාපන නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට දන්වා ඇත.

බර වාහන දුරකථන කණුවල ගැටීමෙන් රැහැන්වලට බරපතළ හානි සිදුවීම හේතුවෙන් දිඹුලාගල අධ්‍යාපන කාර්යාලයේ දුරකථන හා අන්තර්ජාල පහසුකම් ද විසන්ධි වී ඇත.

දිඹුලාගල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ හර්ෂ එදිරිසිංහ හදමන කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති වී. පැලවත්ත යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනකු එක්ව පැයක පමණ කාලයකින් දුරකථන රැහැන් කපා අණු ද ඉවත්කර දුම්රියට බාධාවකින් තොරව ගමන් කිරීමට මඟ සලසා දී තිබේ.