ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනාවක්

ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනාවක්

September 25, 2018   06:32 am

නෙල්සන් මැන්ඩෙලා ගමන් ගත් මඟෙහි යාමට තමන් ලොව සියලූ නායකයින්ට ආරාධනා කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසි වාරයට සමගාමීව ඊයේ (24) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී ආරම්භ කෙරණු නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතමිනි. 

නෙල්සන් මැන්ඩෙලා ජන්ම ශත සංවත්සරය සමරමින් මෙම සාම සමුළුව සංවිධානය කර තිබුණි. 

සාමය, සංහිඳියාව සහ මානවවාදය පිළිබඳ ලෝකයට වැදගත් පාඩම් කියාදුන් විශිෂ්ට චරිතයක් වූ නෙල්සන් මැන්ඩෙලා චරිතය අද සියලූ ලෝක නායකයින් අධ්‍යයනය කළයුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. 

නෙල්සන් මැන්ඩෙලාගේ විශිෂ්ට චරිතය හා එම ගමන් මග සිහිපත් කිරිමට සිදුව ඇත්තේ අද ලෝකය ගමන් ගන්නේ එවන් මඟක නොවන නිසා බව ද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා බලය අතහැරීම සහ බලය සීමාකිරීම පිළිබඳ එතුමාගේ චරිතය ආදර්ශයන් රැසක් ලබාදුන් බව  සඳහන් කළේය.
 
සාමය පිළිබඳ ගමන් මඟ ලොවට කියා දුන් ශ්‍රේෂ්ට මානවවාදී චරිතයක් වූ නෙල්සන් මැන්ඩෙලා චරිතය වෙනුවෙන් මෙවන් සාම සමුළුවක් සංවිධානය කිරීම පිළිබඳ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ස්තූතිය පිරිනැමීය.