සහෝදර රාජ්‍යයන් ලෙස එක්ව ඉදිරියට යාමට පකිස්ථාන-ශ්‍රී ලංකා ජනාධිපතිවරු ප්‍රතිඥා දෙයි

සහෝදර රාජ්‍යයන් ලෙස එක්ව ඉදිරියට යාමට පකිස්ථාන-ශ්‍රී ලංකා ජනාධිපතිවරු ප්‍රතිඥා දෙයි

March 24, 2018   04:31 pm



ආර්ථික සමෘද්ධිය ළඟා කර ගැනීමේදී  සහෝදර රාජ්‍යයන් ලෙස එක්ව ඉදිරියට යාමට පකිස්ථාන - ශ්‍රී ලංකා ජනාධිපතිවරු ප්‍රතිඥා දී තිබේ.

පකිස්ථානයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මහතා අතර නිල හමුව අද(24) පෙරවරුවේ ඉස්ලාමාබාද් නුවර ජනාධිපති නිල නිවසේදී පැවැත් වුණි.

මෙහිදී පකිස්ථාන ජනාධිපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර ඉන් අනතුරුව පැවැති සුහඳ කතා බහයෙන් අනතුරුව දෙපාර්ශවය අතර ද්විපාර්ශවික සාකච්ඡා ආරම්භ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

තම නිල ඇරයුම පිළිගෙන පකිස්ථානය වෙත පැමිණිම පිළිබඳව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය ස්තූතිය පල කළ පකිස්ථාන ජනාධිපතිවරයා එය තම රටට මහත් ගෞරවයක් බව ද ප්‍රකාශ කර තිබේ.

ලෝක ත්‍රස්තවාදයට එරෙහිව පෙළ ගැසීමේ අවශ්‍යතාවය රාජ්‍ය නායකයින් විසින් මෙහිදී  දීර්ඝ ලෙස සාකච්ඡා කර  ඇති අතර පසුගිය යුධ සමයේදී මෙරට ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පකිස්ථානයෙන් පිරිනැමුණු සහය ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇගයීමට ලක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.