ෆේස්බුක් තහනම සිකුරාදායින් ඉවරයි?
March 13, 2018 02:44 pm
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සඳහා පනවා ඇති අවහිරය බොහෝ දුරට ලබන සිකුරාදා ඉවත් කෙරෙන බව විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ උද්ගතවූ තත්ත්වය සමග ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා පැතිර ගිය ඇතැම් ප්‍රකාශ ප්රචණ්ඩ ක්‍රියාවලට පොළඹවන සුලු බව පවසමින් ආණ්ඩුව වහා ක්‍රියාත්මක වන පරිදි එම සමාජ මාධ්‍ය ජාල මෙන්ම වයිබර් හා වට්ස්ඇප් වැනි ක්ෂණික පණිවිඩ සේවා අවහිර කිරීමට පියවර ගත්තේය.
මෙය "අතිවිශේෂ එහෙත් තාවකාලික" පියවරක් බව තහනම ක්‍රියාවට නැගෙන අවස්ථාවේදී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කෙරුණද අදාල තහනම පනවා අදට දින 6ක් වෙයි.
මෙම තහනම පැය 72ක කාලයකින් ඉවත් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ වුව ද දිනකිහිපයකික් එය කල් ඉකුත්ව යද්දී ඒ සම්බන්ධයෙන් විදෙස් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අකමැත්ත ප්රකාශවූ අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මහජන නියෝජිතයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු රැසක් මෙම තහනම සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියේය.
මේ අතර සමාජ ජාල තහනම පිළිබඳව අප අද ජනතාවගෙන්ද විමසීමක් කළේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය සඳහන් කළේ ගතවූ කාලය තුළ තම ඒකකයට ලැබෙන පැමිණිලි සියයට අනූවකින් පමණ අඩු වී ඇති බවයි.
මේ අතර ඇලෙක්සා වෙබ් අඩවි ශ්‍රේණිගත කිරීමේ ආයතනයට අනුව ඉහලම ස්ථානයක පසුවූ ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවිය රජය විසින් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමත් සමඟ ශ්‍රී ලාංකිකයින් වීපීන් තාක්ෂණය යොදාගනිමින් විදෙස් රටවල පිවිසුම් මඟින් ෆේස්බුක් පරිශීලනය කර තිබේ.
කෙසේවෙතත් වීපීන්(VPN)තාක්ෂණය යොදාගනිමින් විදෙස් රටවල පිවිසුම් මගින් සමාජජාල පරිශීලනය කිරීම අවධානම් සහගත බව පරිඝණක විශේෂඥයින් පවසයි.
විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසන්නේ ෆේස්බුක් ආයතනය සමඟ පසුගියදා කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එම ආයතනයේ පිරිසක් මෙරටට පැමිණ අදාළ ජාතිවාදී වෛරී ප්‍රකාශ ඉවත් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.
කෙසේවෙතත් එම වෛරී ප්‍රකාශ ඉවත් කිරීමට තමන්ට කල්ගත වී ඇත්තේ සිංහල භාෂා පරිවර්තකයින්ගේ හිඟය හේතුවෙන් බව ෆේස්බුක් සමාගම පෙන්වා දී ඇත්තේ.
මේ අතර එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේ ෆේස්බුක් ආයතනයේ නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.