රනිල් අගමැතිකමින් ඉල්ලා අස්විය යුතු බව ශ්‍රීලනිප මන්ත්‍රීවරු ජනපතිට දන්වයි
February 13, 2018 05:34 pm
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරයෙක් බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කර තිබේ.
මේ සම්බන්ධයෙන් ජනපතිවරයා සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක්ද කොළඹ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ පැවැත්වා ඇති බව සඳහන්ය.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් නව අගමැතිවරයෙක් පත්කර ගන්නා මෙන් ජනාධිපතිවරයා එම පක්ෂයට දැනුම් දී තිබෙන බව ද ඉහත කී අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය පරිදි සිය පක්ෂයේ සංශෝධන සිදුකිරීමට සූදානම් නැති අතර, එවැන්නක් සිදු විය යුත්තේ සිය පක්ෂය තුළින් බව මේ අතර අගමැතිවරයාගේ ස්ථාවරය වී ඇති බව සඳහන්ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගෙන තනි ආණ්ඩුවක් පිහිටුවන බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අදහසට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ එවැනි ශ්‍රීලනිප සාමාජිකයන්ට තමන් අමාත්‍ය පදවි ලබා නොදෙන බවය.
එමෙන්ම එජාපය දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, එවිට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අදහස ඉවත්කර ගැනීමට දෙමළ ජාතික සන්ධානයට සිදුවනු ඇති බව ද ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත්ව සජිත් ප්‍රේමදාස මහතාට හෝ කරූ ජයසූරිය මහතාට නායකත්වය ලබාදිය යුතු බවට පක්ෂය තුළින්ම ඉල්ලීම් මතුවෙමින් පවතින බවද සඳහන්ය.
පක්ෂයේ නායකත්වය බාරගන්නා මෙන් හෝ අගමැති පදවිය බාරගන්නා මෙන් යෝජනාවක් ඉදිරිපත් වූයේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දුන් කථානායක කරු ජයසූරිය මහතා කියා ඇත්තේ තමන්ට එවැනි කිසිඳු යෝජනාවක් මෙතෙක් ඉදිරිපත්ව නැති බවය.
කථානායකවරයා ලෙසින් තමන් පක්ෂ දේශපාලනයෙන් ඈත්ව සිටින බැවින් ඒ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් විමසන මෙන් ද කථානායකවරයා ඉල්ලීමක් කර ඇති බව සඳහන්ය
මේ අතර ඉරිදා (පෙබරවාරි 11) බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන් අගමැති පදවිය භාර නොගන්නා අතර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් අනතුරුව ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටී ඇති හෙයින් හදිසි මහ මැතිවරණයක් කැඳවන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවය.
-----------------------------------------------------------------------------------------------------
Update: 11.00 pm
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ඇමතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද(13) පස්වරුවේ පැවැත්වුණි.
මෙම රැස්වීම කොළඹදී ජනාධිපති නිල නිවසේ දී සිදුවිය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, දැනට පවතින ජාතික ආණ්ඩුව සමඟ ඉදිරියට යාම සම්බන්ධයෙන් නිර්දේශ කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට එහදී තීරණය කළ බවයි.
සාකච්ඡාවට පෙර අද දෙරණ කළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කළේ ජාතික ආණ්ඩුවෙන් ඉවත්ව එක්සක් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම සදහා වූ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව මෙහිදී දැනුවත් කරන බවයි.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය හොබවන ආණ්ඩුවක් සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෛත්‍රී පාර්ශ්වයේ සහය කිසි ලෙසකින් හෝ නොලැබෙන බව සන්ධාන සන්ධාන ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ඒ අනූව එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පාර්ලිමේන්තුව තුළ සිදුවිය හැකි බල තුලනය විය හැකි ආකාරය අප විමසා බැලීය.
2015 මහමැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ඒක්සත් ජාතික පක්ෂයට ආසන ධූර 106ක් හිමිවූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවූයේ ආසන ධුර 95ක් පමණි.
ඒ අතරින් මන්ත්‍රිවරු 52ක් ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන අතර මන්ත්‍රිවරු 43 දෙනෙක් ජාතික ආණ්ඩුවට සහය පළකරමින් කටයුතු කරයි.
දෙමළ ජාතික සන්ධානයට පාර්ලිමේන්තුව තුළ හිමිව ඇති මන්ත්‍රීධූර සංඛ්‍යාව 16කි.
ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවේ ආසන 6ක් හිමිව තිබේ.
ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයට සහ ඊපීඩීපී පක්ෂයට එක් මන්ත්‍රීධූරයක් බැඟින් පාර්ලිමේන්තු අසුන් හිමිව තිබේ.
එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ තනි ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් තවත් මන්ත්‍රීවරු හය දෙනෙකුගේ සහය අවශ්‍යයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ස්ථාවරය දැනගැනීමට උත්සය කලද එය සාර්ථක වූයේ නැත.
මේ අතර නව රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් කිසිඳු පක්ෂයක් තම පක්ෂය සමඟ මෙතෙක් සාකච්ඡා කර නොමැති බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.
නව රජයක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂයට සහය ලබා දෙන්නේද යන්න පිළිබඳව අද දෙරණ කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සිය පක්ෂයට මෙතෙක් අවශ්‍යතාවක් නොමැති බවයි.
වත්මන් ආණ්ඩුවට එරෙහිව ජනතාව විසින් ලබාදී ඇති තීන්දුවට ගරු කළ යුතු බව ආර්. සම්බන්ධන් මහතා පෙන්වා දෙයි.
කෙසේවෙතත් නව රජයක් පිහිටුවීම සඳහා සිය පක්ෂය සමඟ කිසිඳු පක්ෂ නියෝජිතයෙකු සාකච්ඡා කර නොමැති බැවින් ඒ පිළිබඳ තීරණයක් ගැනීමේ අවශ්‍යතාවක් මෙතෙක් පැන නැගී නොමැති බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් දෙමළ ජාතික සංධානය ප්‍රකාශ කර තිබුණේ ඔවුන්ගේ ප්‍රශ්න ගැටළුවලට නිසි විසඳුමක් ලබා නොදීම හේතුවෙන් වත්මන් ආණ්ඩුවක් සමඟින් එක් නොවන බවයි.