හිරුණිකාගේ 6ක් ඇතුළට 1ක් එළියට-හොඳට ඉන්න අවුරුදු 12 කල් දෙයි

හිරුණිකාගේ 6ක් ඇතුළට 1ක් එළියට-හොඳට ඉන්න අවුරුදු 12 කල් දෙයි

November 24, 2017   01:13 pm

දෙමටගොඩ ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට වරද පිළිගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ ආධාරකරුවන් 08 දෙනාට දඩුවම් නියම කිරීම කොළඹ මහාධිකරණයේදී අද සිදුකර තිබේ.
 
ඒ අනුව එම විත්තිකරුවන් 08 දෙනාගෙන් 06 දෙනෙකුට බරපතල වැඩ සහිත වසර 02 ක සිර දඩුවමක් නියම කර එය වසර 12ක් දක්වා අත්හිටුවීමට මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නියෝග කල බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
 
විත්තිකරුවන් අතර සිටි එක් අයෙකු පාසල් ශිෂ්‍යයෙකු වන බැවින් ඔහුට දඩුවම් නියම නොකළ විනිසුරුවරයා රුපියල් ලක්ෂයක බැඳුම්කරයක් මත ඔහු මුදා හැරීමට නියෝග කල බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
 
විත්තිකරුවන් 08 දෙනා අතර සිටි එක් විත්තිකරුවෙකු රජයේ සේවකයෙකු වන බැවින් ඔහුට ලිහිල් දඩුවමක් නියම කරන ලෙසට සිදුකළ ඉල්ලීමක් සැලකිල්ලට ගත්  විනිසුරුවරයා පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයා වෙත රුපියල් 75,000 ක වන්දියක් ගෙවන ලෙස එම විත්තිකරුට  නියෝග කර තිබේ.
 
අනෙක් විත්තිකරුවන් 06 දෙනාට අත්හිටවූ සිර දඩුවමට අමතරව එක් එක් විත්තිකරුට රුපියල් 32,000 ක දඩයක් නියම කෙරුණු අතර පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයා වෙත වන්දි ලෙස ඔවුන් විසින් රුපියල් දෙලක්ෂ 15,000 ක මුදලක් ගෙවිය යුතු බවටද විනිසුරුවරයා නියම කර ඇති බව සඳහන් වෙයි.
 
සිද්ධියට අදාලව අධිකරණය හමුවේ වරද පිළිගත් පිරිසට දඩුවම් නියම කිරීම මෙලෙස අද(24) දිනයේ සිදු කෙරුණු අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අදාළ නඩු විභාගය ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි.