අලියාව දණගස්වන්න හෙණ්ඩුව දුන්නාම ජවිපෙ පැනලා යනවා
September 22, 2017 04:51 pm
ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකලාපය ඉතාම පහත් තත්ත්වයක පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.
අද(22) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
සයිටම් හා ගොවි ගැටළුවලට මුලිකත්වය ලබා දෙන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීන් අද දවසේ පාර්ලිමේන්තුව තුළ වෙනත් කර්තවයක් ඉටු කරන බවද ඔහු පවසා සිටියේය.
ආණ්ඩුවට එරෙහිව එළියේ සටන් කරන ජනතා විමුක්ති පෙරමුණට අලියා දණ ගැස්වීම සඳහා හෙණ්ඩුව අතට දුන් විට හෙණ්ඩුව දමා පළා යන තත්ත්වයකට පත්ව ඇති බව ද අමුණුගම මහතා වැඩිදුරටත් පැවසීය.
ඡන්දය කල් දැමීමේ පනත පැරදවීමට හෙණ්ඩුව ලැබුණ අවස්ථාවේ දී එයට සාධාරණයක් සිදු නොකර එයට පක්ෂපාතීත්වය දැක්වුයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම මත අනුර කුමාර දිසානායක මහතා වැඩ කටයුතු සිදු කරන නිසා ද යනුවෙන් දිලුම් අමුණුගම මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 6 දෙනෙක් සිටින අතර ඔවුන් අවම වශයෙන් ඡන්දය දීමෙන් වැළකී සිටියේ නම් අඩුම තරමින් පනත සම්මත කර ගැනීමට නොහැකි වන බවත්, එළියේ කාඩ්බෝඩ් වීරයෝ වශයෙන් සිටියත් පාර්ලිමේන්තුව තුළ ක්‍රියාවලියේ දී ඊට බොහෝ සෙයින් වෙනස් වු ක්‍රියාවලියක් සිදුකරන බව ද අමුණුගම මහතා මෙහිදී කියා සිටියේය.
කෙසේ වෙතත් ඉතිහාසයේ පළමු වරට පාලකයින් එක පැත්තක හා ජනතාව තවත් පැත්තක තනිවී සිටින බව ද ඔහු පැවසීය.