අන්තවාදීන් කියන විදිහට සංහිඳියාවට කෙටි පාරවල් නෑ - ජනපති

අන්තවාදීන් කියන විදිහට සංහිඳියාවට කෙටි පාරවල් නෑ - ජනපති

September 20, 2017   06:24 am




සංහිඳියාව ගොඩනැංවීමේ ක්‍රියාවලියේදී ඇතැම් අන්තවාදී කණ්ඩායම්, කෙටි කාලීන විසඳුම්වලින් යුතු වේගවත් ගමනක් අපේක්ෂා කළත්, ස්ථිරසාර විසඳුම් ලබාදීම වේගවත්ව සිදුකළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන මහා මණ්ඩල සැසිවාරය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ යෝජනා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී පැවැසීය.

පසුගිය වසර දෙකහමාරක කාලය තුළ රටේ ජාතීන් අතර සංහිඳියාව ගොඩනංවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා මූලික පියවර ගත් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම්, ප‍්‍රතිසන්ධානය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම නිදහස මේ වනවිට උදාවෙමින් ඇති බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශී‍්‍ර ලංකා වේලාවෙන් අද (20) අළුයම 4.30 ට පමණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතුවේය.

2015 වසරේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තමා පත්වීමට පෙර ලෝකයේ කිසිඳු රටක, කිසිඳු නායකයෙකුට නොතිබුණු අසීමිත බලයක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාට තිබූ බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මෙවර සමුළුව ඇමතුවේ සිංහල භාෂාවෙන්වීම විශේෂත්වයක් වන අතර එහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවසුවේ ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම්, ප‍්‍රතිසන්ධානය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම නිදහස මේ වනවිට උදාවෙමින් ඇති බවයි.

ලෝක ප‍්‍රජාව ඒ සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් බලා සිටින බවත්, තමා බලයට පත්වීමට පෙර තිබූ බියෙන් සහ සැකයෙන් ජීවත් වූ තත්ත්වයට වඩා අද ශී‍්‍ර ලංකාව නිදහස් රටක් බවත් පරිවර්තනීය වෙනසකින් පසු ගත වූ මාස 20 ක පමණ කාලය තුළ ශී‍්‍ර ලංකාව විවිධ ක්ෂේත‍්‍රයන් ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සිටින බවත්  ජනාධිපතිවරයා පෙන්වා දුනි.

ශී‍්‍ර ලංකාවේ ජනතාව ලෝකයේ සතුටින් හා එක් රටක් තුළ ජීවත් වන පිරිසක් බවට පත් කිරීම තම අරමුණ බවද ජනාධිපතිවරයා කියා සිටියේය.