අයහපත් කාලගුණයෙන් රට වටා ජල ගැලීම්-විපත්-පීඩා-පාසල් වැසීමට බලධාරීන්ට උපදෙස්

අයහපත් කාලගුණයෙන් රට වටා ජල ගැලීම්-විපත්-පීඩා-පාසල් වැසීමට බලධාරීන්ට උපදෙස්

May 26, 2017   10:55 am


අයහපත් කාලගුණය හා හදිසි ආපදා තත්ත්වයන් හේතුවෙන් දකුණු පළාතේ පාසල් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උදාවී ඇත්නම් ඒවා වසා දැමීමට ක්‍රියා කිරීම සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබාදී ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතා පවසයි.

ඒ ඒ අධ්‍යාපන කලාපවල තත්ත්වයන් කෙරෙහි සැලකිල්ල දක්වා ගත යුතු ක්‍රියා මාර්ග ඔවුන් විසින් ගනු ඇති බව පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.


පෙ.ව 06.47 - ගිං ගඟ පිටාර ගැලීමත් සමග ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, තවලම, නාගොඩ, වැලිවිටිය, දිවිතුර යන ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්වයක් හටගෙන තිබේ. නිල්වලා ගඟ අවට පහත්බිම් වල සිටින ජනයා අවධානයෙන් සිටිය යුතු බවත්, කොක්දූව,මාලිම්බඩ, අකුරැස්ස,පිටබැද්දර, ඌරාව,පානදුගම ප්‍රදේශවල ජනයා ඉවත්විය යුතුව ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නිවේදනය කර ඇත.  කැලණි ගඟ පිටාර මට්ටමට පැමිණ ඇති අතර කඩුවෙල, කොටිකාවත්ත, කැලණිය, කැලණි මුල්ල, කොළොන්නාව, දොම්පෙ, හංවැල්ල, පාදුක්ක ,අවිස්සාවේල්ල ජනයා අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දීම.

(පෙ.ව 8.09) සබරගමු පළාතේ සියලුම පාසල් වසා දැමීමට තීරණය කර ඇත.


(පෙ.ව. 08.15) අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනයා මුදව‍ා ගැනීමට හා ඔවුන්ට සහයවීමට ත්‍රිවිධ හමුදා භට පිරිස් යොදවා තිබේ. නෙළුව, මොරවක, කඹුරුපිටිය යන ප්‍රදේශවලට ඩිංගි බෝට්ටු 04ක් යොදවා ඇති අතර මාතර දිස්ත්‍රික්කය සඳහා ඩිංගි බෝට්ටුවක් ද කළුතර, කලවාන ප්‍රදේශය සඳහා ඩිංගි බෝට්ටු 02ක් ද යොදවා ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.
ගුවන් හමුදාව විසින්  සහන සැලසීම සඳහා බෙල් 212 සහ එම්.අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් යොදවා ඇත.

(පෙ.ව 8.42) බෙලිඅත්ත-කහවත්ත ප්‍ර දේශයේ ජල පහරකට හසුවීමෙන් පුද්ගලයෙකු අතුරුදහන් වී තිබේ.




(පෙ.ව 8.50) සපුගස්කන්ද - හෙයියන්තුඩුව ප්‍රදේශයේ නිවසක් මතට තාප්පයක් සහ පස් කන්දක් කඩාවැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.
  මාතර - දෙණියාය - මොරවක කන්ද  නායයාමකට ලක්ව ඇති අතර පොලීසිය සඳහන්කළේ අදාළ ප්‍රදේශයට ළඟාවීම සඳහා ගමන් කිරීමට නියමිතව තිබූ සියලුම මාර්ග ජලයෙන් යටවී ඇති බවයි.
එමෙන්ම, කළුතර - බුලත්සිංහල ප්‍රදේශයේ ද නායයාමක් වාර්තා වී ඇත.
--------
(පෙ.ව 09.36) වෙයංගල්ල - අහලවත්ත ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙන් 7ක් මිය ගොස් තවත් 3 දෙනෙකු අතුරුදන් වී ඇත.
නිවසේ සිටි සියල්ලන් පස් කන්දට යට වී ඇති අතර ඉන් කුඩා දරුවන් සිව් දෙනෙකුගේ සිරුරු හමුවී ඇති බව වාර්තා වෙයි.

(පෙ.ව 10.01)ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දිස්ත්‍රික්ක 04 ට අද (26) උදෑසන ඉදිරි පැය 24 කට බලපැවැත්වෙන අයුරින් නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක්ද නිකුත් කර තිබේ. රත්නපුරය, කෑගල්ල, කළුතර සහ ගාල්ල යනු එම දිස්ත්‍රීක්කයන්ය.
ගාල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක දෙකෙහි පවුල් 1248 අයත් පුද්ගලයින් 4880 පිඩාවට පත්ව සිටියි.

(පෙ.ව 10.03) ගාල්ල - බද්දේගම මාර්ගය, ගාල්ල - කරාපිටිය මාර්ගය, ගාල්ල - අම්බලන්වත්ත මාර්ගය සහ උඩුගම - බද්දේගම මාර්ගයේද ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී ඇත. කළුතර - පැලවත්ත - වළල්ලාවිට මාර්ගයේ ගමනාගමන කටයුතුද ඇණ හිට තිබේ.තංගල්ල - වීරකැටිය මාර්ගය සහ තංගල්ල - තිස්ස මාර්ගය ද ජලයෙන් යටවී තිබේ.

(පෙ.ව 10.05)කහවත්ත- මදලගම ප්‍රදේශයේ අඩි පාරක ගමන් කරමින් සිටි පුද්ගලයෙක් මතට ගසක් කඩා වැටීමෙන් ඔහු එම ස්ථානයේම මිය ගොස්  ඇති බව කහවත්ත පොලීසිය පවසයි. වවුනියාව පොලිස් ස්ථානය අසළට පළු ගසක් කඩාවැටීමෙන් එහි පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර, පොලිස් ස්ථානයේ නවතා තිබූ යතුරුපැදි පහකට සහ ට්‍රක් රථයකට ද හානි සිදුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

(පෙ.ව 10.09) බදුරලිය, මාවතවත්ත ප්‍රදේශයේ සිදු වූ නායයාමකින් අතුරුදන්වූ පුද්ගලයින් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. නිවාස 05ක් පමණ පස් කන්දට යටවී ඇත.

(පෙ.ව 10.14) දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම හා කොක්මාදූව පිවිසුම ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමන කටයුතු ඇණ හිට ඇති බව පොලීසිය පවසයි.

(පෙ.ව 11.29) දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

(පෙ.ව 11.30) රත්නපුර නගරය ජලයෙන් යටවී ඇති බව රත්නපුර දිස්ත්‍රීක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කරයි.

(ප.ව 12.09) ජලගැලීම් තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් ජනයාට බෝට්ටු අවශ්‍යව ඇත්නම් 071-6453402,077-4652278,077-3410575 යන දුරකථන අංකවලින් ඉල්ලා සිටින ලෙස ධීවර අමාත්‍යංශය විසින් දැනුම් දී තිබේ.

(ප.ව 12.12) ආපදා තත්ත්වයන් පවතින ප‍්‍රදේශවල දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන නිලධාරීන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබේ. 

(ප.ව 12.25) ආපදා තත්ත්වය සලකා බලා අද දින පාර්ලිමේන්තුව සවස 2.00 දක්වා පමණක් පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කළ බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා අද (26) සභාව වෙත දන්වා තිබේ.

(ප.ව 12.32) අවිස්සාවෙල්ල - වෙලන්ගල්ල ප‍්‍රදේශයේ නිවසක් මතට පස් බැම්මක් කඩා වැටීමෙන් පාසල් සිසුන් දෙදෙනකු මිය ගොස් තිබේ. 

(ප.ව 12.36) කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගය 60 සහ 70 දක්වා වර්ධනය විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශද විටින් විට ඉතා රළු වියහැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

(ප.ව 12.41) බුලත්සිංහල, බෝගහවත්ත ප්‍රදේශයේ සිදු වූ නායයාමකින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ.


 (ප.ව 1.00) වක්ඔය පිටාර ගැලීම නිසා හංවැල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් වනහගොඩ, මාබූල, නෙළුවත්තුඩුව, කහහේන, පින්නවල, ඉරිදාපොල, දිද්දෙණිය උතුර, දිද්දෙණිය දකුණ, පැලපොල, තුම්මෝදර යන ප්‍රදේශයද, පුස්සැලිඔය පිටාර ගැලීම හේතුවෙන් පහල හංවැල්ල, ජයවීරගොඩ, වලව්වත්ත යන ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ.

(ප.ව 1.50) අධික වර්ෂාව නිසා කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත්, කොළඹ නගරයට ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් කොළඹ, කොළොන්නාව, කඩුවෙල, වත්තල, කැලණිය යන ප‍්‍රදේශ ජලයෙන් යටවීමේ අවදානමක් උත්ගතවී ඇති බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසයි.  එම නිසා මෙම ප‍්‍රදේශවල ස්වභාවික ඇළ මාර්ග හා ජලමාර්ග අවහිර වන සේ ගොඩනඟා ඇති ඉදිකිරීම් අදාළ නගර සභා, ප‍්‍රාදේශීය සභා දැනුවත් කිරීමෙන් පසු කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත හා අදාළ අනෙකුත් ආයතන වෙත අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා විසින් උපදෙස් ලබා දී ඇත.


(ප.ව 2.50) දිවයිනේ ප්‍රදේශ රැසකට පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

(ප.ව 2.56) අවතැන් වූ ජනතාවට  සහන සැලසීම සඳහා දකුණු සහ බස්නාහිර පළාතට  නාවික හමුදාවේ භටයින් 143 දෙනකු  යොදවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක චමින්ද වළාකුළුගේ මහතා පවසයි.

(ප.ව 2.58) නෙළුව පොලිස්බල ප්‍රදේශයේ දූලි ඇල්ල තේ කර්මාන්ත ශාලාවේ කාන්තා නේවාසිකාගාරයට පස් කන්දක් කඩා වැටීමෙන් එහි සිටි කාන්තාවන් 10 දෙනෙකු පමණ එම පස් කන්දට යටවී තිබේ.
 පසුව නෙළුව පොලිස් ස්ථානයේ නිලධාරීන් හා ගුවන් හමුදා භට කණ්ඩායමක් එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදී කාන්තාවන් තිදෙනෙකු බේරාගෙන ඇති අතර එයින් දෙදෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී එයින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(ප.ව 2.59) ගංවතුර හා ආපදා තත්ත්වය හේතුවෙන් හෙට (27) පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය පරිපාලන සේවා විභාගය කල් දමන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා  පවසයි.

(ප.ව 03.05) පවතින ආපදා තත්වය හේතුවෙන් සැඩ පහරකට හසුවීමෙන් බෙලිඅත්ත, වහරක්ගොඩ ප්‍රදේශයේ 11 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(ප.ව 03.43)  ආපදා තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 37 දෙනකු මියගොස් ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. 

(ප.ව 03.49) පවතින ආපදා තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 28 දෙනෙකු මිය ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

(ප.ව 04.01) මොරවක, දෙනියාය කන්දක් නායයාම හේතුවෙන්  4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, 16 දෙනෙකු අතුරුදහන්ව, නිවාස 12ට හානි සිදුව ඇති බව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය විසින් නිවේදනය කර තිබේ.

(ප.ව 03.58) මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට  ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නෝටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන් ගෙන තිබේ. 

(ප.ව 04.00) කළුඅග්ගල, තුංමෝදර ප්‍රදේශයේ සිදුවූ නායයෑමකින් කලටුවාව සහ ලබුගම ජල පවිත්‍රාගාරයන්හි සිට ජලය බෙදාහරින ප්‍රධාන නළ මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

(ප.ව 04.10) ගාල්ල දිස්ත්‍රික්කයේ පසු ගිය පැය 24 තුළ ඇති වූ ගං වතුර තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19 හි ග්‍රාම සේවා වසම් 313 ක පවුල් 17771 ක සමාජිකයින් 69216 ක් පීඩාවට පත්ව  ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

(ප.ව 04:22) නෙළුව දුරිඇල්ල ප‍්‍රදේශයේ  අවතැන් වු පිරිසක් බේරා ගැනීමේ සහන කටයුතු වල නිරතව තිබූ ගුවන් හමුදා හෙළිකොප්ටර් යානයක  සිටි ගුවන් හමුදා සමාජිකයෙකු අද (26) පෙරවරුවේ  හෙළිකොප්ටර් යානයේ කේබලය කඩා වැටී බිම ඇද  වැටී  තුවාල ලබා ඇතැයි ගුවන් හමුදාව පවසයි.

(ප.ව 04.25) අවතැන් වු ජනතාවට  සහන සැලසීම සඳහා යුද හමුදාවෙන් 800ක භට පිරිසක් සහ ගුවන් හමුදාවේ හෙළිකොප්ටර් යානා 7ක් අද(26) පස්වරුව වනවිට යොදවා ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.