විශාලතම වෙළෙඳපොළවල් 4ක් එනවා-ආයෝජකයින්ට ආරාධනා කරනවා
January 18, 2017 11:02 am
ලෝකයේ විශාලතම වෙළඳපොලවල් හතරකට ශ්‍රී ලංකාවේ නිෂ්පාදන විවර කරලීම සඳහා අවස්ථාව ළඟදීම උදාවන බැවින්, ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ජාත්‍යන්තර හා දේශීය ආයෝජකයන්ට ආරාධනා කරන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට පැමිණ සිටින තුන්සියයකට අධික ව්‍යවසායකයින්ට වික්‍රමසිංහ මහතා දන්වා සිටියේ මේ ආයෝජන සහ නව වෙළඳපොල අවස්ථාවන් පිළිබඳව අධ්‍යයනය කිරීම උදෙසා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසයි.
ඊයේ (17 ) පස්වරුවේ ලෝක ආර්ථික සමුළු පරිශ්‍රයේ පිහිටි මාධ්‍ය ගම්මානයේ පැවති විශේෂ පුවත් සාකච්ඡාවක් අමතමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි මාස කීපය තුළ ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කිරීමට නියමිත බවය.
මෙම පුවත් සාකච්ඡාව ලෝක ආර්ථික සමුළු වෙබ් අඩවිය ඔස්සේ සජීවීව විකාශය කෙරුණු අතර, සමුළුවට සහභාගී වූ, නොවූ විශාල පිරිසකට ශ්‍රී ලංකා නියෝජිත පිලෙහි අදහස් දැන ගැනීමට එමගින් අවකාශ සැලසිණි.
සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පුවත් සාකච්ඡාව අමතමින් පැවසූයේ 2017 වසර ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක වසරක් බවය. ශ්‍රී ලංකාවේ නව ආර්ථික සංවර්ධන සැලැස්ම මේ වසරේ දී ක්‍රියාවට නැංවීම ඊට හේතුව බව ද සමරවික්‍රම මහතා පෙන්වා දුන්නේය.