මම පිනට කෑම දෙන්නෙත් නෑ   - ආරාධනා කරන්නෙත් නෑ

මම පිනට කෑම දෙන්නෙත් නෑ - ආරාධනා කරන්නෙත් නෑ

July 23, 2016   06:22 pm





මාධ්‍යයට තමා මෙන්ම ආණ්ඩුව විවේචනය කළ හැකි වුවත්, ආණ්ඩුව පෙරළාදැමීම සඳහා ව්‍යාජ පුවත් මවා පෑමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනකට අද මහනුවරදී එක්වෙමින් පැවැති රැස්වීමකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ආණ්ඩුව සහ තමා විවේචනය කිරීම ගැටළුවක් නැති නමුත්  මෛත්‍රිපාල සිරිසේන ජනපති ප්‍රමුඛ ආණ්ඩුව කඩා දැමීමට ඉඩ නොදෙන බවත්, ඊට සම්බන්ධ මාධ්‍ය ආයතනවල අය තමන් ළඟදීම කැඳවන බවත්, හෙතෙම පැවසීය.

"හරි අමාරුවක් තියෙන්නේ ඒ මන්දිරයේ ගිහින් පිනට කෑවේ
මම පිනට කෑම දෙන්නෙත් නෑ ආරාධනා කරන්නෙත් නෑ" යැයි අගමැතිවරයා කියා සිටියේය.

ඒදා ලෝකයේ විශාලතම පිහිනුම් තටාකය අද චීනය සමග සාකච්ඡා කර නැව් පුරවන වරායක් කරන බවත්, හම්බන්තොට කර්මාන්ත ශාලා 15,000ක් ආරම්භ කරන බවත්, අගමැතිවරයා එහිදී පැවසීය.

මහනුවරට හැමදාම එජාපය ණය ගැති බව කී අගමැතිවරයා මහනුවර සිට කුණ්ඩසාලය දක්වා මහනුවරක් කරන බවද බෝගම්බර හිරගෙදර විශාල සංස්කෘතික මධ්‍යස්ථානයක් කරන බවද රැකියා ලබාදීම ඇතුළු තවත් වැඩකටයුතු ගණනාවක් කිරීමට ඇතැයිද කියා සිටියේය.

තමාට අවශ්‍ය කෘෂිකර්මාන්තය දියුණු කිරීම බවද, අධිවේගි මාර්ග ව්‍යාපෘතිය දියුණු වූ පසු කර්මාන්ත ශාලා විවිධ ප්‍රදේශවල ඇති වන බවද, තවත් ලක්ෂයකට සින්නක්කර ඔප්පු දෙන බවද, තට්ටු නිවාසවල අයිති දෙන බවද, වෙස්සන්තර රජු මෙන් සියල්ල දෙන බවද, ඒ ගොල්ලෝ සියල්ල ගත් බවද, හෙතෙම කීවේය.

මේ ආණ්ඩුවට එරෙහිව 28 වැනිදා පාරට බහින අයගෙන් තමන් අහන්නේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන තීරණ 3ක් කියන්න යැයිද අගමැතිවරයා එහිදී  වැඩිදුරටත් කියා සිටියේය.