රිදුම් දුන් තෙමසකට පසු කටුවාපිටිය

රිදුම් දුන් තෙමසකට පසු කටුවාපිටිය

July 21, 2019   07:23 pm

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) මාස තුනක් සපිරෙයි.

එම ප්‍රහාරයෙන් විනාශ වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අද යළි විවෘත කෙරුණේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

එහිදී දේශපාලන නායකත්වය දැඩිව විවේචනය කළ උන්වහන්සේ ජාත්‍යන්තර වුවමනාවන් වෙනුවෙන් රටේ බුද්ධි අංශ අඩපණ කිරීමට පාලකයන් කටයුතු කර ඇතැයිද චෝදනා කර සිටියේය.

2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරුදිනය මෙරට ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ දිනයක් බවට පත්වූයේ ත්‍රස්ත කණ්ඩායමක් සිදු කළ මහා මිනිස් ඝාතනයත් සමගින්.

කටුවාපිටියේ , කොච්චිකඩේ සහ මඩකලපුවේ කිතුණු දේවස්ථාන තුනක් , කොළඹ සුප්‍රසිද්ධ හෝටල් තුනක් ඇතුළු ස්ථාන 8 ක සිදු කළ එම බෝම්බ පිපිරවීම්වලින් අහිමි වූ මිනිස් ජිවිත ගණන 250 කට අධිකයි.

ශ්‍රී ලංකාව මෙන්ම සමස්ත ලෝකයම තිගැස්මට ලක් කළ මෙම ම්ලෙච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට අදට  මාස තුනක් සපිරෙයි.

තෙමසකට පසු පැවැත්වෙන පළමු දේවමෙහෙය වෙනුවෙන් කටුවාපිටිය දේවස්ථානය අසළ දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබූ අතර බැතිමතුන් දේවස්ථානය තුළට ඇතුල් කෙරුණේ පරීක්ෂා කිරීමකින් අනතුරුවයි.

දිව්‍ය පූජාව සඳහා පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ ඥාතීන් මෙන්ම ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ද  සහභාගී වී සිටියේය.

කාදිනල් හිමිපාණන්ගේ සපැමිණීමෙන් පසු අද උදෑසන 8 ට විශේෂ දේව මෙහෙය ආරම්භ විය.

දිව්‍ය පූජාවෙන් අනතුරුව පැමිණ සිටි බැතිමතුන් කාදිනල් හිමිපාණන්ගෙන් ආශිර්වාද ලබා ගත් අතර බෝම්බ ප්‍රහාරයෙන් ආබාධිත තත්ත්වයට පත්වූ කාන්තාවක් ද රෝගී ඇඳ මතින්ම රැගෙන විත් ඇයට ආශිර්වාදකිරීමද මෙහිදී සිදු විය.

බෝම්බ ප්‍රහාරයෙන් කඩතොලු වූ කටුවාපිටිය දේවස්ථානයේ තිබූ ජේසුස් වහන්සේගේ පිළිමය සහ ත්‍රස්තවාදියා පැමිණ බෝම්බය පුපුරුවා ගත් ස්ථානයේ පොළවෙහි කොටසක්  එම දිනය සිහි කරමින් වෙන් කර ඇති ආකාරයද එහිදී දක්නට ලැබූණි.

පාස්කු ප්‍රහාරයේදී මෙම දේවස්ථානයේ සිට මියගිය 115 දෙනා සිහිකරමින් දේවස්ථාන භූමියේ ඉදිකර ඇති ස්මාරකයද අද දින විවෘත කළේය. 

ඉන් අනතුරුව දේවස්ථාන භූමියේම ඉදිකිරීමට නියමිත කිතුණු දහම් පාසලට මුල්ගල තැබීම කාදිනල්  හිමිපාණන්ගේ සහ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

එහිදී එම දහම් පාසල ඉදිකිරීම සදහා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විසින් කාදිනල් හිමියන් වෙත මූල්‍යමය පරිත්‍යාගයක්ද සිදු කරනු ලැබුවේය.

කටුවාපිටිය දේවස්ථානයේදී බෝම්බ ප්‍රහාරයට හසුවීමෙන් මියගිය පිරිසේ සිරුරු භූමිදානය කර ඇති සුසාන භූමිය ආසිරි ගැන්වීම සිදුකෙරුණේ ඉන් අනතුරුවයි.

මේ අතර බෝම්බ පිපිරීම් වලට ලක් වූ කොච්චිකඩේ දෙවස්ථානයේ සහ මඩකලපුව සියෝන් දේවස්ථානයේද අද දින විශේෂ දේව මෙහෙයන් පැවැත් විය.